ප්‍රංශයේ පැවැත්වෙන G7 සමුළුව අතරතුර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවති සාකච්ඡා ලෝක දේශපාලනයේ දැඩි අවධානයට ලක්ව තිබේ. එහිදී ජනාධිපති ට්‍රම්ප් තමා ඉදිරියේදී ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන බවට පොරොන්දු වී ඇති අතර, දෙරට අතර අර්බුදයට ගොස් තිබූ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි අලුත් වන බවට සංඥා පහළ වී ඇත.
සාකච්ඡාවේදී අග්‍රාමාත්‍ය මෝදිව අගය කරමින් ට්‍රම්ප් පවසා ඇත්තේ මෝදි තමාට අවශ්‍ය දේ ලබා ගැනීමට ඉතා දක්ෂ අයෙකු බවයි. විශේෂයෙන්ම ආරක්ෂක සබඳතා පිළිබඳව අදහස් දක්වමින් ට්‍රම්ප් පවසා ඇත්තේ ඉන්දියාවට කිසියම් ප්‍රහාරයක් එල්ල වුවහොත් අමෙරිකාව ඒ වෙනුවෙන් සහාය දීමට සූදානම් බවයි. “යමෙක් මොහුට ප්‍රහාරයක් එල්ල කළහොත් අපි එතන ඉන්නවා,” යනුවෙන් ඔහු සඳහන් කළේ අගමැති මෝදි දෙස බලාගෙනය.
මෑත කාලීනව දෙරට අතර පැවති බදු ගැටලු සහ ඉරාන වරාය ආශ්‍රිත සිදුවීම් හේතුවෙන් සබඳතා පළුදු වී තිබුණි. විශේෂයෙන්ම පසුගිය සතියේ ඔමාන් බොක්කේදී අමෙරිකානු ප්‍රහාරයකින් ඉන්දීය නාවිකයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වීම මෝදි-ට්‍රම්ප් සාකච්ඡාවේදී ප්‍රධාන මාතෘකාවක් විය. වෙළෙඳ ගිවිසුමකට එළඹීමට දෙරටම ඉතා ආසන්නව සිටින අතර, එහි අවසන් කටයුතු සඳහා ලබන සතියේදී දෙරටේ නිලධාරීන් නවදිල්ලියේදී හමුවීමට නියමිතය.
















