2019 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමරිකානු රහස් පරීක්ෂක කාර්යාංශය (FBI) විසින් සිදු කරන ලද විමර්ශනවලට අදාළ තොරතුරු සහ සාක්ෂි, ශ්‍රී ලංකා රජය විසින් නිල වශයෙන් ඉල්ලා තිබේද යන්න පිළිබඳව එක්සත් ජාතික පක්ෂය (එජාප) විසින් ප්‍රශ්න කර සිටී.එජාපය පෙන්වා දෙන්නේ, එම ප්‍රහාරයෙන් පසුව එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඇමරිකානු රජයෙන් පූර්ණ පරීක්ෂණයක් ඉල්ලා සිටි බවත්, ඒ අනුව FBI සහ ශ්‍රී ලංකා ආරක්ෂක අංශ ඒකාබද්ධව පුළුල් පරීක්ෂණයක් සිදු කළ බවත්ය. එම පරීක්ෂණවලින් අනතුරුව FBI විශේෂ නියෝජිත මෙරිලි ආර්. ගොඩ්වින් විසින් කැලිෆෝනියාවේ ෆෙඩරල් අධිකරණයට 71 පිටුවකින් යුත් දිවුරුම් ප්‍රකාශයක් ගොනු කරමින් සැකකරුවන්ට එරෙහිව නඩු පවරා තිබුණි. මෙම විමර්ශනවලට අදාළ සියලු තොරතුරු සහ සාක්ෂි තවමත් ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සහ FBI සන්තකයේ පවතින බව පක්ෂය සිහිපත් කරයි. වත්මන් රජය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ නැවත ආරම්භ කර ඇති පසුබිමක, මෙම වැදගත් සාක්ෂි සහ ලේඛන මෙරට අධිකරණ බලධාරීන් වෙත ලබා ගැනීමට රජය මේ දක්වා පියවර ගෙන තිබේද යන්න එජාපය විමසා සිටී. එසේ පියවර ගෙන නොමැති නම්, ඊට හේතුව කුමක්දැයි හෙළි කරන ලෙස ඔවුන් ආණ්ඩුවට බලකරයි.
















