ලබන ඔක්තෝබර් මාසයේදී (2026) සිදු කිරීමට නියමිත මූල්‍ය ප්‍රතිපත්ති රාමු ගිවිසුම (MPFA) සමාලෝචනයට පෙර, ශ්‍රී ලංකාවේ උද්ධමන ඉලක්කය දැනට පවතින 5% සිට 2% ත් 3% ත් අතර මට්ටමකට අඩු කරන ලෙස හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායකගෙන් ලිඛිතව ඉල්ලා සිටියි. 5% ක උද්ධමන ඉලක්කයක් දිගුකාලීනව පවත්වා ගැනීම නිසා මහජනතාවගේ සැබෑ ක්‍රය ශක්තිය (මිලදී ගැනීමේ හැකියාව) ක්ෂය වන බව ඔහු පෙන්වා දෙයි.
ලෝකයේ ප්‍රමුඛ රටවල් මෙන්ම ඇමෙරිකානු සහ යුරෝපා මහ බැංකු ද සිය උද්ධමන ඉලක්ක 2% වැනි අඩු මට්ටමක පවත්වා ගන්නා බව පවසන රවී කරුණානායක, ජනාධිපතිවරයා වෙත ප්‍රධාන යෝජනා 5ක් ඉදිරිපත් කර තිබේ. උද්ධමන ඉලක්කය වහාම අඩු කිරීම, විදේශ විනිමය සංචිත ගොඩනැගීම, දේශීය ඉතුරුම් හා අපනයන තරගකාරීත්වය ඉහළ නැංවීම, සහ උද්ධමනය ඇතුළු ආර්ථික වර්ධනය පිළිබඳව පාර්ලිමේන්තුව වෙත විනිවිදභාවයකින් යුත් පුළුල් වාර්තාකරණයක් ක්‍රියාත්මක කිරීම එම ප්‍රධාන යෝජනා අතර වෙයි. මහ බැංකු පනත ප්‍රකාරව සෑම වසර 3කට වරක්ම මෙම මූල්‍ය ප්‍රතිපත්ති රාමු ගිවිසුම සමාලෝචනය කළ යුතු වේ.
















