තම රජය බලයට පත්වීමෙන් පසු ජනතාවට සහන සැලසීම සඳහා ඉන්ධන, ගෑස් සහ විදුලි ගාස්තු අඩු කිරීමට කටයුතු කළ ද, මැදපෙරදිග ඇති වූ අනපේක්ෂිත යුදමය තත්ත්වය හමුවේ ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම හේතුවෙන් එම මිල ගණන් තාවකාලිකව ඉහළ දැමීමට සිදු වූ බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ස්වාධීන රූපවාහිනී සේවයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ රජය බලයට පත් වූ විගසම ධීවර ප්‍රජාවට සහන සැලසීමටත්, සංචාරක හෝටල් සඳහා විදුලි බිල සියයට 13කින් පමණ අඩු කිරීමටත් පියවර ගත් බවයි. එහෙත් යුද්ධය නිසා තෙල් බැරලයක ‘ප්‍රීමියම්’ අගය ඩොලර් 3 සිට ඩොලර් 52 දක්වා අසීමිත ලෙස ඉහළ යාම සහ ඩොලරයේ අගය 354 දක්වා ඉහළ යාම වැනි අනපේක්ෂිත ආර්ථික අභියෝග හේතුවෙන් මිල සංශෝධනයක් කිරීමට සිදු වූ බව ඔහු පැහැදිලි කළේය.
කෙසේ වෙතත්, මේ වන විට මැදපෙරදිග කලාපයේ යම් සුබදායී තත්ත්වයක් මතු වෙමින් පවතින බවත්, යුදමය තත්ත්වය සමනය වීමත් සමඟ ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩුවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. මුහුදු මාර්ග විවෘත වීම නිසා නැව් ගාස්තු සහ ගුවන් ගාස්තු පහත වැටෙනු ඇති බව පවසන විදේශ අමාත්‍යවරයා, එහි වාසිය කිසිදු පැකිලීමකින් තොරව ජනතාවට ලබා දීමට රජය සූදානම් බවත්, ඉදිරියේදී ඉන්ධන සහ විදුලි ගාස්තු අනිවාර්යයෙන්ම නැවත අඩු කරන බවටත් සහතික විය.
















