සමාජ මාධ්‍ය සහ විවිධ සන්නිවේදන වේදිකා හරහා කාන්තාවන් රවටා මූල්‍යමය වාසි ලබා ගැනීම, ලිංගික අතවර කිරීම සහ විවිධ අපරාධ ක්‍රියාවලට යොමු කරවා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් මහජනතාව දැනුවත් කර තිබේ.
මෙම වංචනික ක්‍රියාවන් පිළිබඳව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ අනතුරු ඇඟවීමේ ප්‍රධාන කරුණු පහත පරිදි වේ.
සමහර සැකකරුවන් මාර්ගගත ක්‍රම ඔස්සේ කාන්තාවන් සමඟ මිත්‍ර වී, ඔවුන්ව රවටා, පසුව ලිංගික අතවර කිරීම් හෝ මුදල් සහ වටිනා භාණ්ඩ කොල්ලකෑම සිදු කරයි.
සැකකරුවන් කිහිප දෙනෙකු වින්දිතයන්ට මත්ද්‍රව්‍ය ලබා දී සිහිසුන් කර පසුව අතවර හෝ සොරකම් සිදු කර ඇති අතර, තවත් පිරිසක් විවාහ පොරොන්දු ලබා දී විශ්වාසය දිනාගෙන මුදල් සහ දේපළ ලබා ගනී. ඇතැම් අවස්ථාවලදී මෙම සිදුවීම් ඝාතන වැනි බරපතල අපරාධ දක්වා දුරදිග ගොස් තිබේ.
අන්තර්ජාලය හෝ සමාජ මාධ්‍ය හරහා හඳුනා ගන්නා පුද්ගලයන්ට මුදල්, රන් ආභරණ හෝ වෙනත් වටිනා භාණ්ඩ ලබා නොදෙන ලෙස පොලිසිය උපදෙස් දෙයි. එමෙන්ම, නාඳුනන පුද්ගලයන් සමඟ සංවේදී ඡායාරූප, වීඩියෝ හෝ පෞද්ගලික තොරතුරු බෙදා ගැනීමෙන් වළකින ලෙසත්, නාඳුනන පුද්ගලයන් සමඟ හමුවීම් සඳහා යෑමේදී දැඩි අවධානයෙන් පසුවන ලෙසත් දැනුම් දෙයි.
මෙවැනි වංචාවකට ලක්වුවහොත් හෝ ඒ පිළිබඳව තොරතුරු දන්නේ නම්, වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට දැනුම් දිය හැකිය.
හදිසි සහාය සඳහා පොලිස් හදිසි ඇමතුම් අංක 118, 119, 107 හෝ 109 ඇමතීමෙන් අවශ්‍ය සහාය ලබා ගත හැකිය.
පෞද්ගලික ආරක්ෂාව සහ ගෞරවය රැක ගැනීම සඳහා මෙවැනි වංචනික ක්‍රියාවන්ගෙන් ආරක්ෂා වන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.














