පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස පහ තුළ මෙරට සංචාරක කර්මාන්තයෙන් ලැබුණු ආදායම ශීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා මගින් අනාවරණය වේ.
මහ බැංකු දත්තවලට අනුව, 2026 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ සංචාරක ඉපැයීම් ලෙස ලැබී ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 1,360ක් පමණි.
පසුගිය 2025 වසරේ එම කාලසීමාවේදී සංචාරක ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,543.1ක් ලෙස වාර්තා විය. ඒ අනුව, මෙම වසරේ සංචාරක ආදායම 11.9%ක දැවැන්ත අඩුවීමක් පෙන්නුම් කරයි.
තවද, 2025 මැයි මාසයේදී ඩොලර් මිලියන 164.1ක්ව පැවති සංචාරක ආදායම, මෙම වසරේ මැයි මාසයේදී ඩොලර් මිලියන 155.7ක් දක්වා පහළ ගොස් තිබේ.
සංචාරක ක්ෂේත්‍රය මෙලෙස පසුබෑමකට ලක්වුවද, 2026 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ විදේශ ප්‍රේෂණ ලෙස මෙරටට ලැබුණු මුදල අමෙරිකානු ඩොලර් මිලියන 3,909.7කි. පසුගිය වසරේ එම කාලයේදී එය ඩොලර් මිලියන 3,102.2ක් වූ අතර, මෙවර විදේශ ප්‍රේෂණවල යම් වර්ධනයක් දක්නට ලැබේ.
















