ඩොලර් මිලියන 2.5ක මහ භාණ්ඩාගාර මුදල් අනිසි ලෙස හුවමාරු වීම සම්බන්ධයෙන් සිදුවූ සිද්ධියේ වගකීම දැරීමට ශ්‍රී ලංකා මහ බැංකුව බැඳී නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.
මහ බැංකු අධිපතිවරයා මෙම අදහස් පළ කර ඇත්තේ මුදල් කාරක සභාව හමුවේදීය. මේ සම්බන්ධයෙන් අද (25) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා දැඩි විවේචනයක් එල්ල කළේය.
“විදේශ ණය ගෙවීමේදී වැරදි ගිණුමකට මුදල් යෑමයි මෙහිදී සිදුව ඇත්තේ. පරීක්ෂණ සිදුවෙද්දී මහ බැංකු අධිපතිතුමා මුදල් කාරක සභාවේදී පවසනවා අපි මේ සිද්ධියට බැඳිලා නැහැ කියලා. මූල්‍ය හුවමාරු රෙගුලාසි පනතට තමන් වගකියන්න අවශ්‍ය නැති බව ඔහු එහිදී සඳහන් කර තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවත් එය අනුමත කර තිබෙනවා. නමුත් මුදල් හුවමාරු කිරීමේ පනතේ වගන්ති අනුව සියලුම ආයතන මේ සම්බන්ධයෙන් වගකිය යුතුයි.”
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පවතින නීතිමය පසුබිම සහ මහ බැංකුවේ වගකීම පිළිබඳව මේ වන විට පාර්ලිමේන්තුවේදී දැඩි කතාබහක් ඇතිව තිබේ.
















