ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් ප්‍රථම වතාවට සංවිධානය කරනු ලබන “කොළඹටත් පොසොන්” ජාතික බාලදක්ෂ පොසොන් කලාපය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජූනි 28 වන දින නිල වශයෙන් ආරම්භ කෙරිණි. කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් ලේක්හවුස් ආයතනයේ සිට පොලිස් මූලස්ථානය දක්වා විහිදී යන මෙම පොසොන් කලාපය, බෞද්ධ සංස්කෘතික උරුමය සහ බාලදක්ෂ ව්‍යාපාරයේ කැපවීම මනාව විදහා දක්වන අංගයන්ගෙන් සමන්විත වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව දියත් කෙරුණු මෙම වැඩසටහන, ජනාධිපති ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් සහ රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ දායකත්වයෙන් ඉතා ඉහළ මට්ටමකින් ක්‍රියාත්මක කරනු ලබයි. පොසොන් පුන් පොහෝ දින සැමරුමට සමගාමීව කොළඹ නගරයේ පවතින මෙම ආගමික සහ සංස්කෘතික වාතාවරණය, ජනතාවට දැහැමි පරිසරයක සුවය ලැබීමට මෙන්ම දන්සල් සහ තොරණ නැරඹීමට මහඟු අවස්ථාවක් සලසා දී තිබේ.
මෙම උත්සවය ඉදිරි දිනවලදීත් මහජනතාව සඳහා විවෘතව පවතින අතර, පොසොන් සමයේ කොළඹ නගරයේ උත්සවශ්රීය තවදුරටත් ඉහළ නැංවීමට මෙය ඉවහල් වනු ඇත. රාජ්‍ය ආයතන සහ බාලදක්ෂ සංගමය එක්ව ක්‍රියාත්මක කරන මෙම ජාතික වැඩසටහන, සමාජ සහජීවනය සහ ආගමික අවබෝධය ප්‍රවර්ධනය කිරීමෙහිලා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇති බවට බලධාරීන් අපේක්ෂා පළ කරයි.
















