ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආගමන විගමන මර්දන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පාප් වහන්සේ පළ කර ඇති අප්‍රසාදය හේතුවෙන්, ඒ පිළිබඳව වතිකානුවේ මතය තමන්ට එකඟ විය නොහැකි බවත් එය “කලබලකාරී” බවත් ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ප්‍රකාශ කරයි.
ඇමරිකානු ජාතික පළමු පාප් වහන්සේ වන ලියෝ පාප් වහන්සේ, ට්‍රම්ප් පාලනාධිකාරිය සංක්‍රමණිකයන් කෙරෙහි “අතිශයින්ම අපගෞරවනීය” ලෙස කටයුතු කරන බව පවසමින් ඔවුන්ගේ සැලකීම් “අමානුෂික” බව විවේචනය කර තිබිණි. මේ පිළිබඳව ෆොක්ස් නිවුස් නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින්, කතෝලිකයෙකු වන වැන්ස් මහතා සඳහන් කළේ ආගමන විගමන ප්‍රශ්නය සම්බන්ධයෙන් වතිකානුවෙන් පැමිණි ඇතැම් අදහස් කලබලකාරී බවත්, තමන් ඒවාට එකඟ නොවන බවත්ය.
තවද, ආගමන විගමන ප්‍රතිපත්ති පිළිබඳව තමන් සමඟ එකඟ නොවන කතෝලික නායකත්වයට තමන් සතුරු නොවන බවත්, ඔවුන් සමඟ සංවාදයකට තමන් සූදානම් බවත් පැවසූ උප ජනාධිපතිවරයා, සාමූහික සංක්‍රමණයන්හි වින්දිතයන් සිටින බව සිහිපත් කළ යුතු බවත් අවධාරණය කළේය.
ජනාධිපති ට්‍රම්ප්ගේ දැඩි ආගමන විගමන මර්දන ක්‍රියාමාර්ග සහ පිටුවහල් කිරීමේ වැඩසටහන් දේශීය ආරක්ෂාව වැඩි දියුණු කිරීම සහ නීති විරෝධී සංක්‍රමණයන් පාලනය කිරීම අරමුණු කරගත් ඒවා බව රජය පවසයි. කෙසේ වෙතත්, ලියෝ පාප් වහන්සේ ට්‍රම්ප් පාලනයේ වෙනත් ප්‍රතිපත්තිද විවේචනය කර ඇති අතර, ගාසා තීරය සඳහා ට්‍රම්ප්ගේ “සාම මණ්ඩල” (Board of Peace) වැඩසටහනට එකතු වීම ප්‍රතික්ෂේප කර තිබේ. එසේම, පසුගිය පෙබරවාරි 28 දින ආරම්භ වූ ඉරාන යුද්ධය සම්බන්ධයෙන්ද පාප් වහන්සේ සිය විවේචනය එල්ල කර තිබිණි.
















