ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නව සභාපතිවරයා සහ සාමාජිකයෙකු ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා පත් කර තිබේ.
මෙම පත්කිරීමට අමතරව ආයෝජන මණ්ඩලයේ සෙසු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස විෂ් ගෝවින්දසාමි, හර්ෂණී රන්දිලිගම, මංගල කරුණාරත්න සහ කේ. ඒ. විමලේන්තිරරාජා යන මහත්ම මහත්මීහු පත් කර ඇත. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් කාර්යාලයේදී ප්රදානය කරන ලදී.
නව සභාපතිවරයා ලෙස දුමින්ද හුලංගමුව මහතා පසුගිය (01) වැනි දින කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි ආයෝජන මණ්ඩලයේදී සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය. සෘජු විදේශ ආයෝජන (FDI) සහ අපනයන වර්ධනය ඉහළ නැංවීමේ අරමුණින් ආයෝජන මණ්ඩලය තවදුරටත් ශක්තිමත් කරන බවත්, ආයෝජකයන් සඳහා එය සැබෑ “එක් නැවතුම් මධ්‍යස්ථානයක්” (one-stop shop) ලෙස පවත්වාගෙන යන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
හුලංගමුව මහතා වරලත් ගණකාධිකාරීවරයෙකු ලෙස මූල්‍ය, බදු, විගණනය සහ රාජ්‍ය ප්‍රතිපත්ති ක්ෂේත්රවල වසර 40කට අධික අත්දැකීම් සහිත අයෙකි. ඔහු ලංකා වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි.














