නිදහස් වෙළෙඳ ගිවිසුම්වල (FTAs) සමාලෝචන ක්‍රියාවලිය සහ එහි ඉදිරි සැලසුම් පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.
දැනට ක්‍රියාත්මක ගිවිසුම්වල ප්‍රගතිය විමසා බැලූ අමාත්‍යවරයා, මෙරට ආර්ථික සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා නව විභවතාවන් සහිත වෙළෙඳපොළවල් හඳුනාගැනීමේ වැදගත්කම අවධාරණය කළේය. මෙහිදී කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද නිදහස් වෙළෙඳ ගිවිසුම් සමාලෝචන කමිටුවේ වාර්තාවේ වත්මන් තත්ත්වය පිළිබඳව අමාත්‍යාංශ ලේකම් කේ.ඒ. විමලෙන්තිරරාජා මහතා විසින් පැහැදිලි කෙරිණි.
හවුල්කාර රටවල් සමඟ ගිවිසුම්වලට එළඹීමේදී වඩාත් ප්‍රායෝගික ප්‍රවේශයක් අනුගමනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සාකච්ඡා කණ්ඩායම් (Technical Negotiating Teams) වහා පිහිටුවන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. මෙම සාකච්ඡාව සඳහා විවිධ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ වාණිජ, අපනයන සංවර්ධන මණ්ඩලය ඇතුළු ආයතනවල නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.














