‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ හානි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් බිලියන 500ක අතිරේක අයවැය ප්රතිපාදනයක් පාර්ලිමේන්තුව මගින් සම්මත කර ගැනීම හේතුවෙන්, 2026 වසරේ රජයේ ප්‍රාථමික වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 13.7%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි මුදල් අමාත්‍යාංශයේ 2027 මූල්‍ය උපායමාර්ගික ප්රකාශනය පෙන්වා දෙයි.
මෙය 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත (PFMA) මගින් නියම කර ඇති 13%ක ප්‍රාථමික වියදම් සීමාව ඉක්මවා යාමකි. මෙම පනතට අනුව, ණය පොලී ගෙවීම් හැර රජයේ වාර්ෂික වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් 13%ක සීමාව තුළ පවත්වා ගත යුතු වේ.
කෙසේ වෙතත්, මෙම අතිරේක වියදම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යාංශය පවසන්නේ, මෙවැනි හදිසි තත්ත්වයන් හමුවේ වියදම් සීමාව තාවකාලිකව සහ ඉලක්කගතව ඉක්මවා යාමට අවසර ලබා දෙන ‘පිටවීමේ වගන්තිය’ (escape clause) රජය විසින් සක්‍රිය කර ඇති බවයි.
වාර්තාවට අනුව, 2025 වසරේ 2.3%ක්ව පැවැති සමස්ත අයවැය හිඟය, සුළි කුණාටුව ආශ්රිත සැලසුම් නොකළ වියදම් හේතුවෙන් 2026දී දළ දේශීය නිෂ්පාදිතයෙන් -5.6%ක් දක්වා පුළුල් වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. ඒ අනුව 2026 වසරේ රජයේ සමස්ත වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් 21.4%ක් වනු ඇත.
තවද, 2025 වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 16.7%ක්ව පැවැති රජයේ මුළු ආදායම සහ ප්‍රදාන 2026දී 15.8% දක්වා පහළ යනු ඇතැයි ද වාර්තාවේ සඳහන් වේ.














