හයවන ශ්‍රී ලංකා-පාකිස්තාන සන්නද්ධ හමුදා ආරක්ෂක සංවාදයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලුතිනන් ජෙනරාල් (විශ්‍රාමික) මුහම්මද් අලි මහතා, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත මහතා හමුවිය. මෙම හමුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ ආරක්ෂක අමාත්‍යාංශයේදී ඊයේ (ජූලි 02) සිදු විය.
මෙම හමුවේදී දෙරටේ ආරක්ෂක ලේකම්වරුන් සුහද සාකච්ඡාවක නිරත වූ අතර, ශ්‍රී ලංකා-පාකිස්තාන ආරක්ෂක සංවාදය, ආරක්ෂක සහයෝගීතාව, හමුදාමය හුවමාරු, පුහුණු අවස්ථා මෙන්ම උපායමාර්ගික වශයෙන් වැදගත් වන පොදු ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව පුළුල් කරගැනීම සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කළහ.
මෙම අවස්ථාවට පාකිස්තාන අතිරේක ආරක්ෂක ලේකම් රියර් අද්මිරාල් අමීර් මහමුද්, ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ආචාර්ය නයියර් නසීර් සහ ආරක්ෂක උපදේශක කර්නල් මුහම්මද් ෆාරුක් යන මහත්වරුන්ද එක්ව සිටියහ.
















