මහරගම අපේක්ෂා පිළිකා රෝහලේ පවතින පිළිකා නාශක ඖෂධ හිඟය පිළිබඳව කඩිනම් අවධානය යොමු කරමින්, ඒ සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන උපරිම කාර්යක්ෂමතාවයෙන් යුතුව භාවිත කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියි. එම සංගමයේ ලේකම් වෛද්‍ය උදයබණ්ඩාර වරකාගොඩ මහතා සඳහන් කරන්නේ, පවතින ඖෂධ හිඟයට පිළියම් ලෙස දේශීයව හදිසි මිලදී ගැනීම් සිදුකරනවා වෙනුවට වෛද්‍ය සැපයුම් අංශය හරහා ඖෂධ ලබා ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් හා කඩිනම් කළ යුතු බවයි.
ඖෂධ භාවිතය බලාපොරොත්තු වූවාට වඩා ඉහළ යාම, ප්‍රසම්පාදන ප්‍රමාදයන්, ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු සහ ලේබල් කිරීමේ දෝෂ වැනි තාක්ෂණික කරුණු නිසා ඖෂධ ආපසු හරවා යැවීමට සිදුවීම වැනි ප්‍රායෝගික ගැටලු රැසක් මේ වන විට මතු වී තිබේ. වෛද්‍ය සැපයුම් අංශය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) යන ආයතන අතර සම්බන්ධීකරණ ගැටලු හේතුවෙන් හදිසි මිලදී ගැනීම්වලදී එකම ඖෂධය සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවන බව ද වෛද්‍ය වරකාගොඩ මහතා පෙන්වා දෙයි.
අවශ්‍ය අවස්ථාවලදී රෝහල් මට්ටමින් ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් චක්‍රලේඛ නිකුත් කර තිබුණ ද, එය දීර්ඝකාලීන හෝ ස්ථිර විසඳුමක් නොවන බව පෙන්වා දෙන ඒ මහතා, පවතින රාජ්‍ය ප්‍රතිපාදන ඵලදායී ලෙස භාවිත කරමින් රෝගීන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියකට ප්‍රමුඛතාව දෙන ලෙස රජයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.














