ශ්‍රී ලංකාවේ පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතේ (PDPA) ඇතැම් විධිවිධාන 2027 වසරේ පළමු කාර්තුවේ සිට බලාත්මක කිරීමට නියමිත බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි. ඒ සඳහා වන ගැසට් නිවේදනය දැනටමත් සකස් කර නීති කෙටුම්පත් සම්පාදකවරයාගේ අනුමැතිය ලබාගෙන ඇති අතර, එය ඉතා ඉක්මනින් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව හරහා ප්‍රසිද්ධ කිරීමට නියමිත බව අමාත්‍යාංශ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා තහවුරු කළේය.
මෙම නව ක්‍රියාවලිය යටතේ ගැසට් නිවේදනය මගින් පනතේ ඇතැම් විධිවිධාන 2027 පළමු කාර්තුවේ සිට බලාත්මක වන බව නිවේදනය කෙරෙනු ඇත. ඉන් වසර 12කට පසු පනතේ සියලුම කොටස් සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම රජයේ අපේක්ෂාවයි. මීට පෙර පැවති නීති රාමුව යටතේ පනතේ විධිවිධාන බලාත්මක කිරීම සඳහා ස්ථාවර කාලසීමාවන් නියම කර තිබුණද, 2025 සංශෝධිත පනත මගින් එම ස්ථාවර කාලසීමාවන් ඉවත් කර අදාළ අමාත්‍යවරයාට ගැසට් නිවේදනයක් හරහා දිනයන් තීරණය කිරීමේ නම්‍යශීලීභාවය ලබා දී ඇත.
පනත බලාත්මක කිරීමට සමගාමීව, රජයේ ආයතන සඳහා දත්ත ආරක්ෂණ නිලධාරියෙකු පත් කිරීම, එම නිලධාරියාගේ වගකීම් සහ දත්ත ආරක්ෂණ කළමනාකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව මඟ පෙන්වන නව චක්‍රලේඛයක්ද නිකුත් කිරීමට අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී. දැනට පනතේ V වන කොටස ඇතුළු ඇතැම් කොටස් ක්‍රියාත්මක වන අතර, දත්ත හිමියන්ගේ අයිතිවාසිකම් සහ දත්ත පාලකයන්ගේ වගකීම් ඇතුළත් සෙසු ප්‍රධාන කොටස් මෙසේ ගැසට් මගින් බලාත්මක කිරීමට නියමිතව පවතී. දත්ත ආරක්ෂණ අධිකාරියේ කටයුතු ශක්තිමත් කිරීම සහ ධාරිතා සංවර්ධනය සඳහා ඉදිරි මාස කිහිපය තුළ දැඩි අවධානයක් යොමු කරන බවත්, අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය බඳවා ගැනීමේ කටයුතු මේ වන විටත් සිදු කෙරෙමින් පවතින බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
















