රජය විසින් ගනු ලැබූ සාධනීය ක්‍රියාමාර්ග හේතුවෙන් මෙරට මූල්‍ය සාක්ෂරතාව 35% සිට 58% දක්වා ඉහළ නැංවීමට හැකිවූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ඇය මේ බව සඳහන් කළේ කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පැවති කොළඹ කොටස් හුවමාරුවේ 40 වන සංවත්සර උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්ය.
රටේ සෑම පුරවැසියෙකුටම තමන් උපයන මුදල් නිවැරදිව කළමනාකරණය කර ගැනීමට, ඉතිරි කිරීමට, අවදානම් හඳුනාගෙන ආයෝජනය කිරීමට මෙන්ම වංචාකාරී මූල්‍ය ජාවාරම්වලට හසු නොවී සිටීමට අවශ්‍ය දැනුවත්භාවය ලබාදීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය. ඒ අනුව, විශේෂයෙන් පාසල් දරුවන් වෙනුවෙන් නව විෂයමාලා සංශෝධන යටතේ 6 වන ශ්‍රේණියේ සිට 9 වන ශ්‍රේණිය දක්වා “ව්‍යවසායකත්වය හා මූල්‍ය සාක්ෂරතාව” නමින් නව විෂය ක්ෂේත්රයක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බව ඇය පැවසුවාය.
එමෙන්ම, අද දියත් කළ “Stock Market Game” වැඩසටහන සහ පාසල් ප්‍රාග්ධන වෙළෙඳපොළ සංගම් වැනි ප්‍රායෝගික වැඩසටහන් හරහා දරුවන්ට සහ තරුණ පරපුරට කුඩා අවධියේ සිටම ව්‍යවසායකත්වය සහ ආයෝජනය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාදීමට හැකි වන බවද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. කොළඹ කොටස් හුවමාරුව දිවයින පුරා ශාඛා 13ක් දක්වා පුළුල් කරමින් ජනතාව අතරට මූල්‍ය දැනුම ගෙන යාමට දරන උත්සාහයද රජයක් ලෙස අගය කරන බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියාය.














