විවිධ නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් 1,000කට වැඩි පිරිසක් මේ වන විට සේවයෙන් ඉවත් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ, මෙලෙස සේවයෙන් ඉවත් කරන ලද පිරිස අතරින් සැලකිය යුතු පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වීම සහ සංවිධානාත්මක අපරාධ කල්ලි සමඟ සබඳතා පැවැත්වීම වැනි බරපතළ චෝදනාවලට වරදකරුවන් වූවන් බවයි. මීට අමතරව, රාජකාරි පැහැර හැරීම සහ අල්ලස් ලබා ගැනීම වැනි චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් වූ නිලධාරීන් ද සේවයෙන් නෙරපා හැර ඇත.
පොලිස් නිලධාරීන්ට එරෙහිව ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් කඩිනම් සහ විනිවිද පෙනෙන විමර්ශන සිදු කරමින් පවතින බවත්, පොලිස් දෙපාර්තමේන්තුවේ විනය සහ ගෞරවය ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














