ඇමරිකා එක්සත් ජනපදයේ 250 වැනි නිදහස් සංවත්සරයට සමගාමීව, ශ්‍රී ලංකාව තුළ ඇමරිකානු බේස්බෝල් ක්‍රීඩා උරුමය සමරමින් “කොලෑන් ජිම් ඩිමික් මෙමෝරියල් බේස්බෝල් ක්ලැසික්” (Coach Jim Dimick Memorial Baseball Classic) තරගාවලිය පසුගිය ජූලි 3 වැනිදා කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ ‘Freedom 250’ බේස්බෝල් තරග මාලාවේ කොටසක් ලෙස මෙය සංවිධානය කර තිබුණි.
තානාපති කාර්යාලයේ භාරකාර ජේන් හවෙල් (Jayne Howell) මහත්මිය සහ ශ්‍රී ලංකා බේස්බෝල්/සොෆ්ට්බෝල් සංගමයේ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹි මෙම තුන්කොන් තරගාවලිය සඳහා ලංකාවේ බේස්බෝල් ඉතිහාසයට සමීපතම පාසල් තුනක් වන කොළඹ රාජකීය විද්‍යාලය, මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය තරග වැදුණි. එහිදී අවසන් මහා තරගයේදී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය ලකුණු 11-6ක් ලෙස පරාජය කරමින් ‘Freedom 250’ ශූරතාව දිනා ගැනීමට මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සමත් විය.
ඇමරිකානු මැරීන් බලකායේ ප්‍රවීණයකු සහ බේස්බෝල් ශූරයකු වූ ජේම්ස් “ජිම්” ඩිමික් මහතා විසින් 1985 වසරේදී ශ්‍රී ලංකාවට ප්‍රථම වරට බේස්බෝල් ක්‍රීඩාව හඳුන්වා දුන් අතර, රාජකීය විද්‍යාලය එය මුලින්ම වැළඳගත් පාසලක් විය. වසර 40කට ආසන්න කාලයක් පුරා පුහුණුකරුවන් හුවමාරු කර ගැනීම, ක්‍රීඩා උපකරණ පරිත්‍යාග කිරීම සහ තරුණ සංවර්ධන වැඩසටහන් හරහා ඇමරිකාව ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාවේ වර්ධනය වෙනුවෙන් ක්‍රීඩා රාජ්‍ය තාන්ත්‍රිකභාවය (Sports Diplomacy) භාවිත කරමින් සහයෝගය දක්වා තිබේ.
















