ලෝකයේ අණසක පතුරුවා ඇති කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික යටිතල පහසුකම් සපයමින් සිය ආධිපත්‍යය තහවුරු කරගැනීමට ඇමරිකාවේ සුප්‍රකට ඇමසන් (Amazon) සමාගම සමත්ව සිටී. ඒ අනුව ලොව රටවල් 20කට අධික සංඛ්‍යාවක සිය තාක්ෂණය පුළුල් කරන ඇමසන් සමාගම, අසල්වැසි ඉන්දියාවේ පමණක් මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 35ක් ආයෝජනය කර තිබේ. මීට අමතරව 2030 වසර දක්වා මුම්බායි සහ හයිද්‍රබාද් නගර කේන්ද්‍ර කරගනිමින් දත්ත සේවා මධ්‍යස්ථාන පුළුල් කිරීම වෙනුවෙන් තවත් ඩොලර් බිලියන 13ක් ආයෝජනය කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ අනුව 2030 වන විට ඉන්දියාව තුළ ඔවුන්ගේ මුළු ආයෝජනය ඩොලර් බිලියන 48 දක්වා ඉහළ යනු ඇත.
මෙම දැවැන්ත ආයෝජන මඟින් ඉන්දියාවේ මහ පරිමාණ ව්‍යාපාර සහ රාජ්‍ය ආයතන වෙත විශේෂිත AI චීප, AI සේවා සහ Cloud තාක්ෂණික පහසුකම් හිමිවේ. වසර 2010-2030 කාලය තුළ ඉන්දියාවේ සමස්ත ආයෝජනය ඩොලර් බිලියන 88 ඉක්මවන ඇමසන් සමාගම, මේ වසරේදී නව AI දත්ත සේවා මධ්‍යස්ථාන 100කට වැඩි ප්‍රමාණයක් විවෘත කිරීමට නියමිතය. අගමැති නරේන්ද්‍ර මෝදිගේ ‘විකසිත් භාරත්’ සහ ‘ආත්ම නිර්භර්’ සංකල්ප තමන්ව මේ සඳහා දිරිමත් කළ බව පවසන ඇමසන් සමාගම, මේ වන විට ඉන්දියාව තුළ රැකියා මිලියන 2.8ක් උත්පාදනය කිරීමට දායක වී ඇති අතර, එරට AI ක්ෂේත්රයේ විශාලත්ම විදේශීය ආයෝජකයා බවට ද පත්ව සිටී.
















