ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තම සංගමය දැක්වූ නිල ස්ථාවරය ඇතැම් මාධ්‍ය වාර්තා මඟින් වැරදි ලෙස අර්ථකථනය කර ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) පවසයි. පසුගිය සෙනසුරාදා (04) පැවැති ප්‍රසිද්ධ සංසදයකදී ඉදිරිපත් වූ අදහස්, ඇතැම් මාධ්‍ය විසින් පුළුල් සන්දර්භයෙන් බැහැරව වගකීම් විරහිත ලෙස වාර්තා කර ඇති අතර, වගකිවයුතු රාජ්‍ය නිලධාරීන් පවා ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම පිළිබඳව නීතිඥ සංගමය සිය දැඩි කනස්සල්ල පළ කර තිබේ.
පසුගිය මැයි 25 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරමින් දැක්වූ ස්ථාවරය නැවතත් අවධාරණය කරන නීතිඥ සංගමය පවසන්නේ, සේවයේ නියුතු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා මෙවැනි තත්කාලීන (ad hoc) ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීම අනවශ්‍ය මෙන්ම නුසුදුසු ක්‍රියාවක් බවයි. එමඟින් අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි පවතින මහජන විශ්වාසය පළුදු වන අතර, නීතියේ ආධිපත්‍යය දුර්වල වී අහිතකර ව්‍යවස්ථාපිත පූර්වාදර්ශයන් නිර්මාණය වන බවට ද ඔවුහු අනතුරු අඟවති. මෙම ස්ථාවරය තනිකරම ව්‍යවස්ථාපිත මූලධර්ම මත පදනම් වූවක් මිස කිසිදු පුද්ගලික විනිසුරුවරයෙකු ඉලක්ක කරගත් හෝ දේශපාලන පක්ෂයකට පක්ෂ-විපක්ෂ වූවක් නොවන බව ද, වත්මන් රජයේ මැතිවරණ ප්‍රකාශනයෙන් පොරොන්දු වී ඇත්තේ කඩින් කඩ ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒම නොව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීම බව ද නීතිඥ සංගමය වැඩිදුරටත් මතක් කර දෙයි.
















