රටේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කිරීම සහ වී ගොවියාට සාධාරණ ආදායමක් ලබා දීම ජාතික වගකීමක් වුවත්, මෙවර යල කන්නයේ වී මිල තීරණය කිරීම, මිලදී ගැනීම සහ ගබඩා කළමනාකරණය සම්බන්ධයෙන් බරපතල ගැටලු මතුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ සිදු කළ ප්‍රශ්න කිරීමකදීය.
විපක්ෂ නායකවරයා මතු කළ කරුණු අනුව, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය වී කිලෝග්රෑමයකට රු. 137ක නිර්දේශිත මිලක් ලබා දී තිබියදී, එම ආයතනය රු. 120ක සහතික මිලක් ගැන පවසන්නේ මන්දැයි ගැටලුවක් පවතින බවත්, මෙම මිල තීරණය ගැසට් නොකළේ මන්දැයි විමසා සිටින බවත් ඔහු පැවසීය. රජය නිෂ්පාදන පිරිවැය මත 30%ක ලාභයක් ලබා දෙන බව ප්‍රකාශ කළද, නිෂ්පාදන පිරිවැය අධික ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක සහතික මිල ඊට අනුව ඉහළ නංවා නැති බව ඔහු පෙන්වා දුන්නේය. ජාතික ගොවිජන එකමුතුව පෙන්වා දෙන පරිදි 30%ක ලාභයක් සහිතව වී කිලෝග්‍රෑමයක මිල රු. 142ක් විය යුතු වුවත්, දැනට වී මිලදී ගැනෙන්නේ රු. 75-90 අතර මිලකට බව ඔහු සඳහන් කළේය.
මෙට්‍රික් ටොන් 30,000ක් මිලදී ගැනීමට බිලියන 6ක් වෙන් කර ඇති බව පැවසුවද, යල කන්නයේ අපේක්ෂිත අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 1.8-2ක් වන බැවින්, රජයේ මෙම මිලදී ගැනීමේ ප්‍රතිශතය වෙළෙඳපොළ ස්ථාවර කිරීමට ප්‍රමාණවත්දැයි ඔහු ප්‍රශ්න කළේය. වී අලෙවි මණ්ඩලය සතු පැරණි තොග අලෙවි නොකර නව අස්වැන්න මිලදී ගැනීමට සිදුව ඇති තත්ත්වය තුළ ප්‍රමාණවත් ගබඩා පහසුකම් පවතීද යන්න සහ පසුගිය කාලයේ සිදු කළ සහල් ආනයන නිසා දේශීය වී මිලට සිදුවූ බලපෑම පිළිබඳව පැහැදිලි කිරීමක් අවශ්‍ය බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
















