මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවූවන් 40 දෙනෙකු ඩෙංගු රෝගය හේතුවෙන් මියගිය බවට එල්ල වී ඇති චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීය.
රැඳවියන් 40 දෙනෙකු ඩෙංගු රෝගයෙන් මියගිය බවට පැතිර යන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අමාත්‍යවරයා අවධාරණය කළේය. වාර්තා වී ඇත්තේ එකම එක් ඩෙංගු රෝගියෙකු පමණක් වන අතර ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබා දී ඇත. වෛද්‍ය හෝ සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිඟයක් හේතුවෙන් කිසිදු මරණයක් සිදුවී නොමැති බවත්, රෝහල්වලට යොමු කළ යුතු රෝගීන්ට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවත් ඔහු පැවසීය.
මීගමුව බන්ධනාගාර ගැටුම පාලනය කිරීමට උත්සාහ කළ බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ඔවුන්ගේ සේවය රජය අගය කරන අතර ඔවුන් වෙනුවෙන් කනගාටුව පළ කරයි. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට අමාත්‍ය මණ්ඩලය විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති අතර, ඊට අමතරව පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද වෙන වෙනම පරීක්ෂණ සිදු කරයි.
දැනට බන්ධනාගාරවල රැඳවියන් 40,000ක් පමණ සිටින අතර, එය 11,000ක ධාරිතාවක් සඳහා සැලසුම් කර ඇති ස්ථානයකි. නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලීන් සහ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් නිසා මෙම තදබදය උග්‍ර වී ඇත. බන්ධනාගාර තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල ක්‍රියාකාරකම් පාලනය කිරීමට තාක්ෂණික උපකරණ ලබා දී ඇති අතර, බන්ධනාගාර පුළුල් කිරීමේ වැඩසටහන් ද ආරම්භ කර ඇත. විද්‍යාත්මක පරීක්ෂණ සහ නඩු පැවරීමේ කටයුතු කාර්යක්ෂම කිරීමට අවශ්‍ය නීතිමය හා පරිපාලන පියවර ගනිමින් සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
















