පාරිභෝජනයට නුසුදුසු, කල් ඉකුත් වූ සීනි ටොන් 4,250ක් අලුතින් ඇසුරුම් කර වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබූ ස්ථානයක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් වටලනු ලැබීය. පෑලියගොඩ, පෙතියාගොඩ ප්‍රදේශයේ පිහිටි ගබඩාවකදී මෙම වැටලීම සිදු වූ අතර, එහිදී රුපියල් මිලියන 900කට අධික වටිනාකමකින් යුත් සීනි මිටි 85,000ක් පොලිස් භාරයට ගෙන ඇත.
මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අතර ගබඩාවේ කළමනාකරු ද වේ. විමර්ශනවලදී හෙළි වී ඇත්තේ 2020 වසරේදී ආනයනය කරන ලද සීනි තොගයකින් කොටසක් මෙලෙස කල් ඉකුත් වී ඇති බවයි. සැකකරුවන් මෙම කල් ඉකුත් වූ සීනි අලුත් සීනි සමඟ කලවම් කර, නව ඇසුරුම්වල බහා වෙළෙඳ නාම සහ කල් ඉකුත් වීමේ දිනයන් වෙනස් කර වෙළෙඳපොළට නිකුත් කර තිබේ. ඉතා දුර්වර්ණ වූ සීනි ‘රතු සීනි’ ලෙසත්, භාවිතයට ගත නොහැකි සීනි කසිප්පු නිෂ්පාදනය සඳහාත් අලෙවි කර ඇති බව අනාවරණය වී ඇත.
යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය ලබා දුන් තොරතුරක් මත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ගේ සහය ඇතිව මෙම වැටලීම සිදු කෙරිණි. අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු, ලබන අගෝස්තු 25 දක්වා ගබඩාව මුද්‍රා තබා පොලිස් ආරක්ෂාව යොදවන ලෙස නියෝග ලැබී ඇත. එමෙන්ම, සීනි සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ලබා ගන්නා ලෙසද අධිකරණය නියෝග කර තිබේ.
















