ශ්‍රී ලංකාවේ පවතින විදේශ වෙළඳ ගිවිසුම් සමාලෝචනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බවත්, එම කමිටුවේ වාර්තාව ලැබීමෙන් අනතුරුව අදාළ ප්‍රතිපත්තිමය තීරණ ගනු ලබන බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී සාකච්ඡා වූ සෙසු කරුණු:
රටේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක කෙරෙන සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය සහ සංචාරක අංශය තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා ලබන වසරේ අයවැයෙන් වෙන් කිරීමට අපේක්ෂිත මුදල් ප්‍රතිපාදන පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
සංචාරක කර්මාන්තය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක කළ හැකි නව ව්‍යාපෘති සහ වැඩසටහන් සඳහා යෝජනා කිහිපයක් ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මෙහිදී ඉදිරිපත් කරන ලදී.
මෙම රැස්වීම සඳහා විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ යන මහත්වරුන් සහ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් සහභාගී වූහ.
















