රේගු ආඥා පනත සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ ඉදිරිපත් වූ යෝජනා සහ නියමයන් කිහිපයකට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබේ. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පැවති මෙම කාරක සභාවේදී, රටේ වෙළෙඳ සහ ආයෝජන පරිසරය හැඩගැස්වීම අරමුණු කරගත් නව ජාතික තීරුබදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරිණි.
නව බදු ප්‍රතිපත්තිය යටතේ 2026 අප්‍රේල් 01 වැනිදා සිට ආනයනික භාණ්ඩ සඳහා පැවති 0%, 15% සහ 20% බදු අනුපාත 0%, 10%, 20% සහ 30% ලෙස කාණ්ඩ හතරක් යටතේ ක්‍රියාත්මක වේ. මෙහිදී එක්සත් ජාතීන්ගේ ආර්ථික වර්ගීකරණය පදනම් කරගනිමින් භාණ්ඩ ප්‍රාග්ධන, අතරමැදි, සංවේදී අතරමැදි සහ පාරිභෝජන භාණ්ඩ ලෙස වර්ගීකරණය කෙරේ. ඉදිකිරීම් ක්ෂේත්රයට සහනයක් ලෙස ටයිල් සඳහා දැනට පවතින 85-90%ක ඉහළ බදු අනුපාතය 2029 වන විට පියවරෙන් පියවර 20% දක්වා අඩු කිරීමට සැලසුම් කර ඇති අතර, 2029 වන විට CESS සහ PAL වැනි පැරා තීරුබදු ක්‍රමානුකූලව ඉවත් කර සරල තීරුබදු ක්‍රමයක් හඳුන්වා දීම රජයේ ඉලක්කයයි.
මෙම ප්‍රතිසංස්කරණ මගින් ශ්‍රී ලංකාව ගෝලීය සැපයුම් දාමයන් සමඟ වඩාත් කාර්යක්ෂමව සම්බන්ධ කර ගැනීමට සහ ඉදිරි වසර පහ තුළ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 36 දක්වා දෙගුණ කිරීමට අපේක්ෂා කෙරේ. විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික, රබර්, ඖෂධ සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රවල වර්ධනයක් මෙයින් බලාපොරොත්තු වේ. වෙළෙඳ දත්ත යාවත්කාලීන කිරීමේ ප්‍රමාදය පිළිබඳව දැඩි අවධානය යොමු කළ කාරක සභාව, 2021 වසරෙන් පසු යාවත්කාලීන නොවුණු සියලු වෙළෙඳ දත්ත සතියක් ඇතුළත යාවත්කාලීන කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
















