මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය අතරතුර රැඳවියන්ගේ අමානුෂික පහරදීමකට ලක්ව බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර නියාමක මත්තක ගමගේ උපාලි මහතා ඊයේ (08) දහවල් ජීවිතක්ෂයට පත්විය. මීගමුව බන්ධනාගාර සිද්ධියේදී දිවි අහිමි වූ අටවන නිලධාරියා ඔහුය.
42 හැවිරිදි වියේ පසුවූ මත්තක ගමගේ උපාලි මහතා, නාවික හමුදාවේ වසර 12ක සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසු වසර 5කට පෙර බන්ධනාගාර සේවයට එක්වූවෙකි. මාතර, කඹුරුපිටිය, හොරපාවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකුවූ හෙතෙම කුඩා පුතුන් දෙදෙනෙකුගේ ආදරණීය පියෙකි. මියගිය නිලධාරියාගේ දේහය අද (09) පස්වරුවේ කඹුරුපිටියේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන ඒමට නියමිතව ඇත.
මේ අතර, මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් දිවි අහිමි වූ බන්ධනාගාර නියාමක එස්.ඩී.එස්. අබේවර්ධන මහතාගේ දේහය තැන්පත් කර ඇති කුරුණෑගල, වත්තේගෙදර නිවසට අද පෙරවරුවේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැමිණ සිය ශෝකය පළ කළේය.
එමෙන්ම, මෙම ඛේදජනක සිදුවීමෙන් දිවි අහිමි වූ බන්ධනාගාර ජේලර් එස්.එච්.එස්. චන්ද්‍රවංශ මහතා ඇතුළු තවත් නිලධාරීන් කිහිප දෙනෙකුගේ අවසන් කටයුතු අද (09) පස්වරුවේ සිදු කිරීමට නියමිතව ඇත.
















