ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදකයින්ට සහ අපනයනකරුවන්ට ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ සිය නිෂ්පාදන අලෙවි කිරීමේදී අවශ්‍ය වන අනුකූලතා සහ සහතික කිරීමේ සේවාවක් ලෙස ලංකා වාණිජ මණ්ඩලයේ වාණිජ ලේඛන ලියාපදිංචි කිරීමේ අංශය මගින් ‘නිදහස් අලෙවි සහතිකය’ (Free Sale Letter) හඳුන්වා දී ඇත.
මෙම නව සේවාව පිළිබඳ වැදගත් කරුණු කිහිපයක් පහත පරිදි වේ:
ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ඖෂධ නිෂ්පාදන සඳහා පවතින නියාමන අවශ්‍යතා සපුරාලීමට සහ අපනයන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීමට මෙම සහතිකය මහත් පිටුබලයක් වනු ඇත.
වාණිජ ලේඛන ලියාපදිංචි කිරීමේ අංශය මගින් දැනටමත් නිකුත් කරනු ලබන මූලාරම්භක සහතික, සමීක්ෂණ පත්වීම් ලිපි සහ අනෙකුත් වාණිජ ලේඛන සහතික කිරීමේ සේවාවන්ට අමතරව මෙම නව සේවාව එක් කර ඇත.
අපනයනකරුවන්ට සිය ලේඛන කටයුතු ආරක්ෂිතව සහ කාර්යක්ෂමව සිදු කර ගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශයේ විද්‍යුත් ලේඛන සහතික කිරීමේ පද්ධතිය සමඟ මෙම අංශය සම්බන්ධ වී කටයුතු කරයි.
මෙම අංශය විසින් ලබාදෙන සේවාවන් වසරේ දින 365 පුරාම පැය 24 පුරාම සක්‍රීයව පවතින විද්‍යුත් වේදිකාවක් හරහා සිදු කළ හැකිය. එමගින් අපනයනකරුවන්ට තමන්ට අවශ්‍ය ලේඛන අන්තර්ජාලය හරහා ඉතා පහසුවෙන් කළමනාකරණය කර ගැනීමේ අවස්ථාව හිමිවේ.
















