යටියන්තොට, කබුළුමුල්ල රජමහා පත්තිනි දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර හේතුවෙන් හෙට (ජූලි 11) සෙනසුරාදා රාත්‍රී කාලයේදී රථවාහන ගමනාගමනය සීමා කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරන්නේ මෙම පෙරහැර හෙට රාත්‍රී 08:00ට ආරම්භ වී පසුදින (12) අලුයම 01:00 දක්වා වීථි සංචාරය කිරීමට නියමිත බවයි. පෙරහැර දේවාලයෙන් ආරම්භ වී හැටන් – කොළඹ මාර්ගයේ කරවනැල්ල හන්දිය දක්වා ගමන් කර, එතැන් සිට කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගය ඔස්සේ රුවන්වැල්ල වැන්ඳල විහාරස්ථානය අසලට පැමිණ නැවත දේවාලය වෙත ගමන් කිරීමට නියමිතය. මේ හේතුවෙන් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ කරවනැල්ල සිට නවට හන්දිය දක්වා මාර්ගය භාවිතා කරන රියදුරන් සඳහා පොලිසිය විසින් විකල්ප මාර්ග හඳුන්වා දී ඇත.
හැටන් දෙස සිට කොළඹ දෙසට සහ කෑගල්ලේ සිට අවිස්සාවේල්ල දෙසට ගමන් කරන වාහන යටියන්තොට නගරයෙන් පාරුස්සැල්ල – පනාපිටිය මාර්ගයට පිවිස, වරාවල හන්දියෙන් වමට හැරී රුවන්වැල්ල නගරයට පැමිණිය යුතුය. එතැන් සිට රුවන්වැල්ල ඔරලෝසු කණුව අසලින් නිට්ටඹුව මාර්ගයේ කොට්ටන්ගස් හන්දිය, මහදෙනිය හන්දිය සහ තල්දූව නගරය හරහා අවිස්සාවේල්ලට සහ කොළඹට ගමන් කළ හැකිය.
කොළඹ දෙස සිට හැටන් දෙසට ගමන් කරන වාහන තල්දූව හන්දියෙන් වමට හැරී අමිතිරිගල මාර්ගයේ ගමන් කර, මහදෙනිය හන්දිය සහ කොට්ටන්ගස් හන්දිය හරහා රුවන්වැල්ල ඔරලෝසු කණුව අසලට පැමිණිය යුතුය. එතැන් සිට වමට හැරී වරාවල හන්දියෙන් බුලත්කොහුපිටිය මාර්ගයට ප්‍රවේශ වී, පාරුස්සැල්ල – යටියන්තොට මාර්ගය ඔස්සේ යටියන්තොට නගරයට පිවිස හැටන් දෙසට ගමන් කළ හැකිය.
කොළඹ දෙස සිට හැටන් දක්වා සහ හැටන් දෙස සිට කොළඹ දක්වා ගමන් කරන ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සඳහා පමණක් යටියන්තොට ගරාගොඩ මාගම්මන මාර්ගය ඔස්සේ කෑගල්ල – අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයට පිවිස ගමන් කිරීමට අවස්ථාව සලසා දී තිබේ. පෙරහැර හේතුවෙන් සිදුවන අපහසුතාවයන් මඟහරවා ගැනීම සඳහා මෙම විකල්ප මාර්ග භාවිතා කරමින් සහයෝගය දක්වන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
















