දිවයින පුරා ඩෙංගු ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ, අදාළ සෞඛ්‍ය බලධාරීන් විසින් ඩෙංගු මදුරු කීටයන් බෝ වන ස්ථාන විනාශ කිරීමේ විශේෂ වැඩසටහන් අද (11) දිනයේදීත් ස්ථාන රැසකදී ක්‍රියාත්මක කර ඇත.
බස්නාහිර පළාතෙන් මෙරට වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වන අතර, ඉන් වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. මෙම ව්‍යසනකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ පොලිසියේ පරිසර ආරක්ෂණ අංශය එක්ව මෙම වැඩසටහන් සංවිධාන කර ඇත.
මෙම මෙහෙයුම්වලට නාවික හමුදාවේ සහය ද ලබා දෙන අතර, බස්නාහිර පළාතේ මෝදර, බොරැල්ල, කෝට්ටේ, පිටකෝට්ටේ, පානදුර, මහර සහ වත්තල යන ප්‍රදේශවල විශේෂ පරීක්ෂණ සිදු කෙරිණි. මීට අමතරව, මහනුවර නගරයේ පවතින ඩෙංගු අධි අවදානම් කලාප ඉලක්ක කර ගනිමින් මහනුවර මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය විසින් ද විශේෂ මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ. තෙල්දෙණිය පොලිස් අධිකාරී කාර්යාලයේ මූලිකත්වයෙන් මැණික්හින්න නගරයේද මෙවැනිම වැඩසටහනක් දියත් කර ඇත.
රෝග ව්‍යාප්තිය පාලනය කරගැනීම සඳහා තම නිවස සහ අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමටත්, මදුරුවන් බෝ විය හැකි ස්ථාන විනාශ කිරීමටත් වගකීමෙන් කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් නැවත නැවතත් ඉල්ලා සිටී.
















