දින ගණනාවක් තිස්සේ ඇදහැලෙන අධික මෝසම් වැසි හේතුවෙන් බංග්ලාදේශයේ ගිනිකොණදිග දිස්ත්‍රික්ක 7ක දරුණු ගංවතුර සහ නායයෑම් තත්ත්වයක් හටගෙන තිබේ. මෙයින් පවුල් 267,918කට සෘජු බලපෑම් එල්ල වී ඇති අතර, මිලියනයකට අධික ජනතාවක් ජලයෙන් යටවූ ප්‍රදේශවල සිරවී සිටිති. විදුලිබල බිඳවැටීම්, මාර්ග සහ පාලම් විනාශ වීම හේතුවෙන් සහන සේවා සැපයීමට දැඩි බාධා එල්ල වී ඇති අතර, හමුදාව සහ නාවික හමුදාව එක්ව බෝට්ටු මඟින් සිරවී සිටින ජනතාවට වියළි ආහාර, ඖෂධ සහ පානීය ජලය සැපයීමට පියවර ගනිමින් සිටී.
ගංවතුරෙන් වඩාත්ම පීඩාවට පත්ව ඇත්තේ කොක්ස් බසාර් (Cox’s Bazar) ප්‍රදේශයේ පිහිටි රෝහින්ග්‍යා සරණාගත කඳවුරු වන අතර, කඳවුරු ආශ්‍රිතව සිදු වූ නායයෑම්වලින් කාන්තාවන් සහ ළමුන් ඇතුළු සරණාගතයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ගෝලීය උණුසුම සහ දේශගුණික විපර්යාස හේතුවෙන් බංග්ලාදේශයට බලපාන මෙවැනි ස්වාභාවික ආපදාවල දරුණුකම වසරින් වසර ඉහළ යමින් පවතින බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.
















