තංගල්ල, මාවැල්ල මහගලගාව වෙරළ තීරයේ බිලී පිත්තක් ආධාරයෙන් මසුන් අල්ලමින් සිටියදී හදිසියේ පැමිණි රළ පහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි 19 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ. තංගල්ල ගොඩැල්ලවෙල පදිංචි ජුවානා හැන්නදිගේ චමිදු දිල්ෂාන් නම් වූ මෙම තරුණයා ඉකුත් 09 වන දින මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත.
සිද්ධියෙන් පසු ප්රදේශවාසීන්, පොලිස් ජීවිතාරක්ෂක ඒකකය සහ නාවික හමුදාව එක්ව දැවැන්ත සෝදිසි මෙහෙයුම් දියත් කළද, අතුරුදන් වූ තරුණයා සොයා ගැනීමට නොහැකි විය. කෙසේ වෙතත්, දින කිහිපයකට පසු එනම් ඊයේ (11) පස්වරුවේ මාවැල්ල මුහුදු තීරයේ පාවෙමින් තිබියදී ධීවරයින් පිරිසකට මෙම සිරුර දැකගැනීමට ලැබී ඇති අතර, පසුව ඔවුන් විසින් එම සිරුර බෝට්ටුවකින් වෙරළ තීරයට ගොඩගැනීමට කටයුතු කර තිබේ.
මේ වන විට මරණකරුගේ සිරුර හඳුනාගෙන ඇති අතර, සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු තංගල්ල මූලස්ථාන පොලීසිය විසින් සිදු කරනු ලබයි. මුහුදු වෙරළ ආශ්රිතව කටයුතු කිරීමේදී පවතින අනතුරුදායක තත්ත්වයන් පිළිබඳව මෙය තවත් එක් අනතුරු ඇඟවීමක් කරමින් මෙම පුවත ප්රදේශය පුරා මහත් සංවේගයක් ඇති කිරීමට හේතු වී තිබේ.
















