සිංගප්පූරුවේදී පෞද්ගලික වැන් රථ රියදුරෙකු සහ එහි ගමන් ගත් සංචාරක මගීන් පිරිසක් අතර ඇති වූ උණුසුම් වාදයකින් පසු රියදුරා මගීන්ගේ ගමන් මලුවලට පහර දීමේ සිදුවීමක් වාර්තා වී ඇත.වැන් රථය තුළ තිබූ විස්කි බෝතලයක් සම්බන්ධයෙන් මගීන් සහ රියදුරා අතර ඇති වූ ආරවුලක් මෙම සිදුවීමට මුල් වී ඇත. මගියාගේ දියණිය ඉදිරියේ එම මත්පැන් බෝතලය තිබීම පිළිබඳව මගියා අතෘප්තිය පළ කර ඇත.
රියදුරා “මම ඔබේ දියණියට බොන්නැයි කිව්වද?” (Did I ask your daughter to drink?) යනුවෙන් ප්‍රශ්න කර ඇති අතර, වාදයෙන් පසු ඔහු මගීන්ගේ බෑගයකට පයින් පහර දෙනු දැකගත හැකි විය.
සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ දර්ශනවල රියදුරා මගියාට අසභ්‍ය වචන පවසමින් බෑගයකට පහර දෙන අයුරු දැක්වේ. මීට පෙර රියදුරා පාහේ හිස් වූ බෝතලයක් ඔසවා, “ඔබ පැමිණිලි කරන්න හදන්නේ මේ ගැනද?” (This you want to complain about) යැයි පවසමින් එය වාහනයේ පිටුපසට විසි කර ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා විවිධ අදහස් පළ වී තිබේ. සමහරු රියදුරාගේ හැසිරීම වෘත්තීය නොවන බව පවසන අතර, තවත් සමහරු පවසා ඇත්තේ එය රියදුරාගේ පෞද්ගලික වාහනයක් බැවින් ඔහුගේ බඩු තබා ගැනීමට ඔහුට අයිතියක් ඇති බවයි.
















