දේශගුණික විපර්‌යාස පිළිබඳ පාර්‌ලිමේන්තු සංසදය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහ මහාචාර්‌ය අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වී තිබේ. ආර්ථික ස්ථාවරත්වයට, ආහාර සහ ජල සුරක්ෂිතභාවයට මෙන්ම ජාතික ආරක්ෂාවට ද බලපාන දේශගුණික විපර්‌යාස සම්බන්ධයෙන් පූර්‌ව අපේක්ෂිත පාලනයක් සඳහා පොදු එකඟතාවක් කරා යාමේ වැදගත්කම විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කළේය.
පක්ෂ දේශපාලන භේදවලින් තොරව ක්‍රියාත්මක වන මෙම සංසදය සඳහා දේශගුණ විද්‍යාඥයින්, විද්වතුන් සහ ස්වාධීන උපදේශක කණ්ඩායම් ඇතුළු දේශීය හා විදේශීය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් එක්ව සිටියහ. පාර්‌ලිමේන්තු සැසිවාර පැවැත්වෙන සෑම මසකම දිනක් මෙම සංසදය සඳහා වෙන් කිරීමටත්, විද්‍යාත්මක දත්ත සහ තොරතුරු කේන්ද්‍ර කරගනිමින් ආපදාවකට පෙර සූදානම් වීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටත් මෙහිදී මූලික අවධානය යොමු කෙරිණි.
එල්නීනෝ සහ ලානීනා තත්ත්වයන්ගේ බලපෑම් මෙන්ම ගොවීන්, ධීවරයින් සහ ව්‍යාපාරිකයින් මුහුණ දෙන අභියෝග පිළිබඳව ද මෙහිදී දීර්‌ඝ ලෙස සාකච්ඡා විය. දේශගුණික විපර්‌යාස යනු තනි පුද්ගල කාර්‌යයක් නොව ජාතික වගකීමක් බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, අනාගත කාලගුණික අභියෝගයන්ට මුහුණ දීම සඳහා විද්‍යාත්මක පදනමකින් ප්‍රතිචාර දැක්විය යුතු බව වැඩිදුරටත් සඳහන් කළේය.
















