මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය ඇතුළු මෙරට පවතින දේශීය අවශ්‍යතා සැලකිල්ලට ගනිමින්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ මස අගදී සිදු කිරීමට නියමිතව තිබූ ප්‍රංශ නිල සංචාරය වසර අවසානය දක්වා කල් දමා තිබේ. මේ පිළිබඳව ප්‍රංශ බලධාරීන් දැනුවත් කර ඇති අතර, සංචාරය සඳහා වසර අවසානයේදී නව දිනයක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා රජය ඉල්ලා ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේය. පසුගිය පෙබරවාරි මාසයේ නවදිල්ලියේ පැවැති කෘතිම බුද්ධි සමුළුව අතරතුරදී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා විසින් ජනාධිපති දිසානායක මහතා වෙත මෙම නිල ආරාධනය සිදු කර තිබිණි.
මෙම සංචාරයේදී යුරෝපා සංගමයේ GSP+ වෙළඳ සහනය ශ්‍රී ලංකාවට තවදුරටත් ලබා ගැනීම සඳහා ප්‍රංශයේ සහයෝගය ලබා ගැනීම පිළිබඳව සහ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා සැලසුම් කර තිබිණි. මීට අමතරව, ජනාධිපතිවරයාගේ මෙම සංචාරය අතරතුරදී දෙරට අතර ආර්ථික, මූල්‍ය සහ ආරක්ෂක ක්ෂේත්‍රවල සහයෝගීතාව සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම් තුනකට අත්සන් තැබීමට ද රජය අපේක්ෂා කරයි. සංචාරය ආරම්භ කිරීමට පෙර එම ගිවිසුම්වල අන්තර්ගතය අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, ජනාධිපතිවරයා සමඟ විදේශ කටයුතු අමාත්‍යවරයා සහ මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා ද මෙම සංචාරයට එක්වීමට නියමිතව ඇති බව වැඩිදුරටත් පැවසීය.
වත්මන් GSP+ සහන කාලය එළඹෙන දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වන බැවින්, ලබන වසරේදී ඒ සඳහා ශ්‍රී ලංකාවට අලුතින් අයදුම් කිරීමට සිදුවන පසුබිමක මෙම ප්‍රංශ සංචාරය මෙරට ආර්ථිකයට සුවිශේෂී බලපෑමක් එල්ල කරයි. GSP+ සහනය අඛණ්ඩව භුක්ති විඳීම සඳහා මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පරිසර ආරක්ෂණය සහ යහපාලනය සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතීන් 27ක් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වන අතර, කල් දැමූ මෙම රාජ්‍ය තාන්ත්‍රික සංචාරය වසර අවසානයේදී පැවැත්වීම මඟින් එම අරමුණු සාක්ෂාත් කර ගැනීමට රජය අපේක්ෂා කරයි.















