සිංගප්පූරු අධිකරණයක් විසින් බ්ලූම්බර්ග් (Bloomberg) ආයතනයට සහ එහි මාධ්‍යවේදියෙකුට සිංගප්පූරු අමාත්‍යවරුන් දෙපළක් වන කේ. ෂන්මුගම් සහ ටැන් සී ලෙන්ග් මහත්වරුන්ට අපහාස කිරීම සම්බන්ධයෙන් සිංගප්පූරු ඩොලර් 460,000ක (ඇමරිකානු ඩොලර් 356,000ක්) වන්දි මුදලක් ගෙවන ලෙස නියෝග කර ඇත. 2024 වසරේ පළ වූ එම ලිපිය මගින් තම දේපළ ගනුදෙනු සම්බන්ධයෙන් අනිසි අර්ථකථනයක් ලබා දී ඇති බවට අමාත්‍යවරුන් දෙපළ විසින් ගොනු කළ නඩුවකදී මෙම තීන්දුව ලබා දී තිබේ.
අදාළ ලිපිය මගින් අමාත්‍යවරුන් තම දේපළ ගනුදෙනු විනිවිදභාවයකින් තොරව සිදුකර ඇති බවත්, එමගින් මුදල් විශුද්ධිකරණය වැනි සැක කටයුතු දේවලින් බේරීමට උත්සාහ කර ඇති බවක් ඇඟවෙන බවත් විනිසුරු ඕඩ්‍රි ලිම් සිය තීන්දුව ප්‍රකාශ කරමින් සඳහන් කළාය. තම වාර්තාකරණය නිවැරදි බවත්, එය මහජන අවශ්‍යතාවය මත සිදුකළ බවත් බ්ලූම්බර්ග් ආයතනය තර්ක කළද, අධිකරණය එම අදහස ප්‍රතික්ෂේප කළේය. තීන්දුවෙන් අනතුරුව බ්ලූම්බර්ග් ආයතනය එම ලිපිය සිය වෙබ් අඩවියෙන් ඉවත් කර ඇති අතර, අධිකරණ තීන්දුවට ගරු කරන බව ඔවුන්ගේ ප්‍රධාන කර්තෘ ජෝන් මික්ලෙත්වයිට් ප්‍රකාශ කළේය.
















