පළාත් සභා මැතිවරණය ප්‍රමාදයකින් තොරව හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඒකාබද්ධ ඉල්ලීමක් කරති. සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ලංකා කම්කරු කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය, ඉලංගෙයි තමිල් අරසු කච්චි, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය යන පක්ෂවල නියෝජිතයෝ කොළඹදී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව අවධාරණය කළහ. දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ දෙමළ සහ මුස්ලිම් පක්ෂ රැසක් මෙලෙස එකවර මැතිවරණයක් ඉල්ලා සිටින පළමු අවස්ථාව මෙය වන බවයි.බලයට පත්වී වසරක් ඇතුළත පළාත් සභා මැතිවරණය පවත්වන බවට ජාතික ජන බලවේගය ලබා දී තිබූ පොරොන්දුව මෙතෙක් ඉටු කර නොමැති බව පක්ෂ නියෝජිතයෝ එහිදී පෙන්වා දුන්හ. මේ පිළිබඳව අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා සඳහන් කළේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බලාත්මක කිරීම, ඉඩම් ගැටලු විසඳීම සහ සුළුතර ප්‍රජාවන්ගේ ගැටලු සංවාදයෙන් විසඳීම යන ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් යටතේ සියලු පක්ෂ පොදු එකඟතාවකට පැමිණි බවයි. රටේ සංහිඳියාව, ප්‍රජාතන්ත්‍රවාදය සහ සියලු ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පොදු වේදිකාවක් ඔස්සේ ඉදිරියටත් සාකච්ඡා මෙහෙයවීමට පක්ෂ නායකයින් කැපවී සිටින බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
















