කලාපයේ වැදගත් සුඛෝපභෝගී සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සිංගප්පූරුවේදී විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබේ. සිංගප්පූරුවේ මැරිනා බේ සැන්ඩ්ස් (Marina Bay Sands) හිදී පැවති ආසියා පැසිෆික් ජාත්‍යන්තර සුඛෝපභෝගී සංචාරක වෙළෙඳපොළ (ILTM) ප්‍රදර්ශනයට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.
ලොව පුරා විසිරී සිටින සුඛෝපභෝගී සංචාරක උපදේශකවරුන්, සංචාරක ක්‍රියාකරුවන් සහ හෝටල් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් එකම වහලක් යටට ගෙන එන මෙම ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශේෂ කුටියක් ස්ථාපිත කර තිබිණි. ශ්‍රී ලංකාව සතු වනජීවී සම්පත්, සුවතා හා ආයුර්වේද අත්දැකීම්, සංස්කෘතික උරුමයන්, සුඛෝපභෝගී නවාතැන් සහ වික්‍රමාන්විත සංචාරක අවස්ථා එහිදී ජාත්‍යන්තර ප්‍රජාවට හඳුන්වා දෙන ලදී.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (අලෙවි) චින්තක ලියනආරච්චි මහතාගේ මෙහෙයවීම යටතේ මෙරට සමාගම් 15ක් මෙම ප්‍රදර්ශනය සඳහා සහභාගි වූ අතර, ඔවුහු ජාත්‍යන්තර සංචාරක ගැණුම්කරුවන් සහ වෘත්තිකයන් සමඟ ව්‍යාපාරික සාකච්ඡා පවත්වමින් නව හවුල්කාරීත්වයන් ශක්තිමත් කර ගත්හ. සිංගප්පූරු වෙළෙඳපොළ උපයෝගි කර ගනිමින් ශ්‍රී ලංකාව සුඛෝපභෝගී සංචාරක ගමනාන්තයක් ලෙස ගෝලීය වශයෙන් ප්‍රචලිත කිරීමට මෙම අවස්ථාව මනා පිටිවහලක් වන බව සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සෙනරත් දිසානායක මහතා පෙන්වා දුන්නේය.
















