එංගලන්තය සහ ප්‍රංශය අතර ෆෙරී යාත්‍රා ප්‍රවාහන කටයුතු සිදුකෙරෙන බ්‍රිතාන්‍යයේ විශාලතම ජාත්‍යන්තර වරාය වන ඩෝවර් (Dover) වරායට පිවිසෙන මාර්ග අවහිර කරමින් මුහුණු ආවරණ පැළඳි සංක්‍රමණ විරෝධී විරෝධතාකරුවන් පිරිසක් කලබලකාරී තත්ත්වයක් ඇති කර තිබේ.
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ දර්ශනවල දැක්වුණේ කළු පැහැති ඇඳුමින් සැරසී මුහුණු ආවරණ (balaclavas) පැළඳගත් පිරිසක් වරාය අවට මාර්ගවලට රොගස් වෙමින් “නෞකා නවත්වනු” (stop the boats) යනුවෙන් හඬ නඟමින් පොලිස් පේළි ඉදිරියේ විරෝධතාවක නිරත වන ආකාරයයි. මෙම විරෝධතාව හේතුවෙන් වරායට ඇතුළු වන සහ පිටවන සියලුම ප්‍රවාහන කටයුතු තාවකාලිකව ඇනහිටි අතර, ප්‍රධාන මාර්ගවල කිලෝමීටර් 6.4 ක පමණ දැඩි වාහන තදබදයක්ද හටගෙන තිබිණි.
පොලිසියේ සහ වරාය බලධාරීන්ගේ මැදිහත්වීමෙන් පසුව දහවල් වන විට තත්ත්වය පාලනය කර යළි වාහන ගමනාගමනය සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට හැකි වී තිබේ. සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතිය ප්රජාතන්ත්රවාදයේ මූලික අංගයක් වුවද, නීති විරෝධී ලෙස මහජන පීඩා ඇති කරමින් සහ සංක්‍රමණික විරෝධී උන්මාදයක් මවාපාමින් කළ මෙම හැසිරීම දැඩි ලෙස හෙළා දකින බව බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශ කර ඇත.














