ශ්‍රී ලංකාවේ රාජ්‍ය සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින්, සෞඛ්‍ය කළමනාකරණ සහකාර පත්වීම් 228ක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (16) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ප්‍රදානය කිරීමට නියමිතය.
රෝහල් පරිපාලනය සහ රෝගී සත්කාරක සේවා බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් පවතින අතර, එහි කොටසක් ලෙස ඉදිරි දෙසතිය තුළ තවත් කාර්ය සහායකයින්, ඩෙංගු මර්දන සහායකයින් සහ සුළු සේවා පාලකවරුන් 1,778කට පත්වීම් ලබාදීමට රජය සැලසුම් කර ඇත.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින මානව සම්පත් හිඟයට ස්ථිර විසඳුමක් ලෙස, අමාත්‍යවරයාගේ උපදෙස් මත ඉතා විනිවිදභාවයකින් යුතුව මෙම පත්වීම් ලබාදෙන බව අමාත්‍යාංශය පවසයි. ඒ අනුව බස්නාහිර පළාතේ පළමු කණ්ඩායම ලෙස 627 දෙනෙකුට පත්වීම් ලබාදීම පසුගිය 04 වැනිදා සිදු කෙරිණි.
ඉතිරි පත්වීම් ප්‍රදානය කිරීම යටතේ සෞඛ්‍ය කාර්ය සහායකයින් 600 දෙනෙකුට ලබන 18 වැනිදාත්, සෞඛ්‍ය කාර්ය සහායකයින් 762 දෙනෙකුට අගෝස්තු 01 වැනිදාත් පත්වීම් ලබාදීමට නියමිතය. එමෙන්ම ඩෙංගු මර්දන සහායකයින් 295 දෙනෙකු සහ සුළු සේවා පාලකයින් 121 දෙනෙකුට ඉදිරි දෙසතිය තුළ පත්වීම් ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති සහ පාර්ශ්වකරුවන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලා සිටි මානව සම්පත් පුරප්පාඩු පිරවීම මේ හරහා සිදුවන අතර, එමගින් රෝගී සේවා ජාලය තවදුරටත් ශක්තිමත් වනු ඇත.
















