දඹුල්ල, ඉංගිරිය, වාලච්චේන, මිල්ලනිය සහ කටුනායක යන ප්‍රදේශවල කර්මාන්ත කලාප ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙළේ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශේෂ අවධානය යොමු විය. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ 2026 වසරේ ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ පූර්ව සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී පැවැති අවස්ථාවේදී මේ කරුණු අනාවරණය විය.
මෙම ව්‍යාපෘති නියමිත කාලයේදී අවසන් කිරීමට උපරිමයෙන් කැපවන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා, කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළ රජයේ කාර්යභාරය සහ සීමා නිසි ලෙස හඳුනා ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම කර්මාන්ත කලාප ස්ථාපිත කිරීමේදී ඉඩම් වෙන් කර ගැනීම, විදුලිය, ජලය සහ මාර්ග වැනි යටිතල පහසුකම් සංවර්ධනයේදී මතුව ඇති ගැටලු විසඳා ගැනීමට කඩිනම් පියවර ගත යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
අපනයනකරුවන් සහ කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. ඔවුන් දිරිගැන්වීම සඳහා ලබාදිය යුතු පොදු සහන පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. තවද, කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ආයතන ඒකාබද්ධ කිරීමේදී ඒවායේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ රජයේ වියදම් අවම කර ගැනීමට පියවර ගත යුතු බවද ඔහු පැවසීය. ව්‍යවසායකත්ව සහ කර්මාන්ත පරිවර්තන අධිකාරිය (EITA) පිහිටුවීමට අදාළ යෝජනාව සහ ඒ යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කෙරිණි.
අමාත්‍යවරුන් වන සුනිල් හඳුන්නෙත්ති, අනිල් ජයන්ත ප්‍රනාන්දු, චතුරංග අබේසිංහ යන මහත්වරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.
















