ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය, සත්ත්ව පාලනය සහ ධීවර කර්මාන්තය යළි සකස් කරමින්, නවීන තාක්ෂණය හා වෙළෙඳපොළ ඉලක්ක කරගත් ‘තුන්වන කෘෂිකාර්මික විප්ලවයක’ අවශ්‍යතාවය පවතින බව පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික ඉතිහාසය පෞරාණික වාරි කර්මාන්තය සහ යටත් විජිත සමයේ පැවති වැවිලි ආර්ථිකය ලෙස පද්ධති දෙකකින් සමන්විත වී ඇති නමුත්, කෘෂිකර්මය, සත්ත්ව පාලනය, ධීවර කර්මාන්තය, විද්‍යාව සහ තාක්ෂණය ඒකාබද්ධ කරමින් ගොඩනැඟිය යුතු ‘නවීන ජෛව ආර්ථිකයක්’ ලෙස තුන්වන පද්ධතියක් මෙතෙක් ගොඩනැගී නොමැති බව ඔහු සඳහන් කරයි.
මෙම නව පරිවර්තනය උදෙසා මිලින්ද මොරගොඩ මහතා යෝජනා කරන උපායමාර්ගික කැපවීම් පහ මෙසේය:
1. ඉඩම් ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය සහ ආරක්ෂිත දිගුකාලීන භුක්තිය ලබාදීම.
2. නිෂ්පාදකයාගේ සිට අපනයන වෙළෙඳපොළ දක්වා ඒකාබද්ධ අගය දාමයන් (Integrated Value Chains) ගොඩනැඟීම.
3. පර්යේෂණ, යාන්ත්‍රිකකරණය සහ ඩිජිටල් කෘෂිකර්මාන්තය සඳහා විශාල වශයෙන් ආයෝජනය කිරීම.
4. සත්ත්ව පාලනය සහ ධීවර කර්මාන්තය නවීන කර්මාන්ත ලෙස දියුණු කිරීම.
5. ආණ්ඩු වෙනස්වීම්වලින් ආරක්ෂා වන ජාතික තරගකාරීත්ව උපායමාර්ගයක් අනුගමනය කිරීම.
වී සහ අපනයන භෝග හෝ විශාල ගොවිපළ සහ කුඩා ගොවිපළ ලෙස තෝරා ගැනීම් ව්‍යාජ තෝරා ගැනීම් බවත්, සාර්ථක කෘෂිකාර්මික ආර්ථිකයන් මෙම සියල්ල ඒකාබද්ධ කරන බවත් ඔහු අවධාරණය කරයි. එසේම, වියට්නාමය කෝපි නිෂ්පාදනයේදී අත්කර ගත් සාර්ථකත්වය මෙන්, ශ්‍රී ලංකාවට ද නිසි උපායමාර්ගික සැලැස්මක් තුළින් විශේෂිත කෝපි, වාරක දේශගුණික පලතුරු, මල් වගාව, කුළුබඩු සහ කාබනික නිෂ්පාදන වැනි අපනයන ක්ෂේත්රවල ගෝලීය පිළිගැනීමක් සහිත නිෂ්පාදකයෙකු විය හැකි බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
















