පොදු ප්‍රවාහන සේවා සපයන බස් රථ ඇතුළු සියලු වාහනවල තත්ත්ව පරීක්ෂාවක් සිදු කිරීමට තීරණය කර ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික කවුන්සිලය පවසයි. එහි සභාපති මංජුල කුලරත්න මහතා සඳහන් කළේ මෙම වැඩපිළිවෙළ සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි.
මෙරට පොදු ප්‍රවාහනයේදී සිදුවන රිය අනතුරුවලට ප්‍රධාන හේතුව වී ඇත්තේ රියදුරන්ගේ නොසැලකිල්ල සහ වාහනවල පවතින විවිධ තාක්ෂණික දුර්වලතා බව ඔහු පෙන්වා දුන්නේය. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පොදු ප්‍රවාහනයේ යෙදෙන සියලුම වාහනවල තත්ත්ව පරීක්ෂාවන් දැඩි ලෙස සිදු කිරීමට පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය සුදුසුකම් ලත් තාක්ෂණික නිලධාරීන් බඳවා ගැනීම වෙනුවෙන් මේ වන විට අයදුම්පත් කැඳවා ඇති අතර, අදාළ බඳවා ගැනීම්වලින් පසු සැප්තැම්බර් අග වන විට මෙම ක්‍රියාවලිය නිල වශයෙන් ආරම්භ කිරීමට හැකි වනු ඇත.














