ඉරානයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් මෙරටට අවශ්‍ය තාර නොලැබීම නිසා මාර්ග සංවර්ධන කටයුතු අඩාළ වීමේ ගැටලුවක් උද්ගතව ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමැති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි. මහනුවර දී පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවට අවශ්‍ය තාර සියයට සියයක්ම ආනයනය කරන්නේ ඉරානයෙන් වන අතර, ලංකාවේ උෂ්ණත්වයට සහ පාරවල්වලට ගැළපෙන ප්‍රමිතිය ඇත්තේ ඉරාන තාරවල පමණක් බවයි.
වෙනත් රටවලින් තාර ගෙන ඒමේදී ප්‍රමිතිය අසමත් වීම සහ ඉන්දියාව වැනි රටවල් තමන්ගේ අවශ්‍යතාව සඳහා පමණක් නිෂ්පාදනය කිරීම නිසා ගැටලු මතුව ඇති බව ඔහු සඳහන් කළේය. මේ වන විට රට පුරා මාර්ග සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කර ඇති බැවින් මෑත ඉතිහාසයේ තාර ඉල්ලුම වැඩිම අවස්ථාව මෙය වී ඇති නමුත්, පවතින තාර හිඟය හේතුවෙන් ව්‍යාපෘති මන්දගාමී තත්ත්වයට පත්ව ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
















