සුරැකුම් සේවා තවදුරටත් පවුල තුළ පමණක් සිදුවන පෞද්ගලික වගකීමක් ලෙස නොසලකා, එය ජාතික ආර්ථිකයේ සහ රාජ්‍ය ප්‍රතිපත්තිවල ප්‍රමුඛතාවක් ලෙස සැලකිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කළාය.
“සුරැකුම් ආර්ථිකය සඳහා මූල්‍යකරණය: ඒ සඳහා පාර්ලිමේන්තුවේ භූමිකාව” පිළිබඳ වැඩසටහනට එක්වෙමින් ඇය පෙන්වා දුන්නේ ප්‍රමාණවත් රැකවරණ සේවා නොමැති වීම නිසා කාන්තාවන්ට ශ්‍රම බලකායෙන් ඉවත් වීමට සිදුවන අතර, එමගින් රටට වටිනා ශ්‍රම ශක්තිය අහිමි වන බවයි. එමෙන්ම සුරැකුම් ආර්ථිකය සඳහා ආයෝජනය කිරීම හුදෙක් සුබසාධන වියදමක් නොව රටේ ආර්ථික වර්ධනයට කෙරෙන උපායමාර්ගික ආයෝජනයක් බවත්, අයවැය යනු රටේ ප්‍රමුඛතා පිළිබිඹු කරන ලේඛනයක් බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
















