ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ බෝම්බ හෙළීමේ ව්‍යාපාරය තාවකාලිකව අත්හිටුවීමෙන් පසු, ඇමරිකාව මෙම විරාමය පවත්වාගෙන යන තාක් කල් තමන්ද ප්‍රහාර එල්ල කිරීම නවතා දමන බව ඉරාන උසස් නිලධාරියෙක් පවසා තිබේ.
ඇමරිකාව දින 13ක් තිස්සේ ඉරානයට එරෙහිව රාත්‍රී කාලයේ ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කළ අතර, පසුගිය සිකුරාදා (25) අලුතින් සැලසුම් කළ ප්‍රහාර අත්හිටුවමින් පෙන්ටගනය එම මෙහෙයුම් තාවකාලිකව නවතා දමන ලදී.
ඩිප්ලොමසියට වැඩි ඉඩක් ලබා දීම සඳහා ජනාධිපති ට්‍රම්ප් මෙම ප්‍රහාර නැවැත්වීමට තීරණය කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු තානාපති මයික් වෝල්ට්ස් (Mike Waltz) ප්‍රකාශ කර තිබේ.
ප්‍රහාර නැවතී ඇති තාක් කල් ඉරානයද තම මෙහෙයුම් නවතා දමන බවත්, කෙසේ වෙතත් ඇමරිකාව යළි ප්‍රහාරයක් එල්ල කළහොත් පුළුල් ප්‍රතිචාර දැක්වීමට සූදානම්ව සිටින බවත් ඉරාන නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර ඇත.
ඇමරිකානු කඳවුරු ආරක්ෂා කිරීම හේතුවෙන් එරට මිසයිල ආරක්ෂක තොග අඩුවීම පිළිබඳව උපදේශකයින් විසින් ජනාධිපතිවරයාට අනතුරු ඇඟවීම නිසා මෙම තීරණය ගෙන ඇති බව නිව්යෝක් ටයිම්ස් සහ සී.එන්.එන්. (CNN) ඇතුළු මාධ්‍ය වාර්තා කර තිබේ.














