විපක්ෂය කෙසේ ප්‍රකාශ කළද රටේ බහුතර ජනතාවක් අද වන විටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ රජය සමඟ දැඩි ලෙස එකතු වී සිටින බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා පැවසීය.නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ (26) දින හැටන් නගරයේ පැවති උත්සවයකට එක් වෙමින් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුන්දරලිංගම් ප්‍රදීප් මහතා සඳහන් කළේ, පසුගියදා පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාසභංග යෝජනාවෙන් පසු විපක්ෂය සම්පූර්ණයෙන්ම බංකොලොත් වී ඇති බව මනාව පැහැදිලි වන බවයි. එබැවින් විපක්ෂ නායකයා කළ යුත්තේ ආණ්ඩුව පෙරළීමට කුමන්ත්‍රණ කිරීම වෙනුවට රටට අවශ්‍ය ප්‍රබල විපක්ෂයක් ස්ථාපනය කිරීම බවද ඔහු පෙන්වා දුන්නේය.
විපක්ෂය වටා අද වන විට රැස්වී සිටින්නේ සිරගත වීමට නියමිත, ඇප මත මුදාහැර සිටින සහ විවිධ දූෂණ වංචාවලට සම්බන්ධ පිරිස් පමණක් බවත්, රටේ සාමාන්‍ය ජනතාව දිගටම රජය සමඟ සිටින බවත් ඔහු අවධාරණය කළේය. විශේෂයෙන්ම, රටේ සමස්ත ජනතාව මෙන්ම වතුකරයේ ජනතාවගෙන් 95%ක ප්‍රමාණයක්ද මේ වන විට රජය සමඟ ශක්තිමත්ව නැගී සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.














