වත්මන් රජය වතුකරයේ ජනතාවගේ ඡන්දය ලබා ගැනීම සඳහා විවිධ පොරොන්දු ලබා දුන්නද, බලයට පත් වී වසර දෙකක් ගත වී ඇතත් එම පොරොන්දු වලින් ඉටු කර ඇත්තේ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම පමණක් බව දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා ප්‍රකාශ කළේය.මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඔහු නායකත්වය දරන ජාතික කම්කරු සංගමය සහ ජාතික කම්කරු පෙරමුණේ ජ්‍යෙෂ්ඨ නායකයින්ගේ රැස්වීමක් හැටන් නගරයේ පැවති අවස්ථාවකදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
වත්මන් රජය බලයට පත් වී වසර දෙකක් යන තෙක් තමන් ඇතුළු විපක්ෂය නිහඬව සිටි බව පෙන්වා දුන් ඔහු, බලයට පත් වීමට ලබා දුන් පොරොන්දු ඉටු නොකිරීම නිසා දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එකට එකතු වී එම පොරොන්දු දිනා ගැනීම සඳහා සන්ධානගත වී ඇති බව පැවසීය. එම සන්ධානය ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට තමන්ටද ආරාධනා කළ බව ඔහු සඳහන් කළේය.දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ජනාධිපතිවරයා හමුවී අවස්ථා කිහිපයකදී වතුකරයේ ජනතාවට ලබා දෙන බවට පොරොන්දු වූ ඉඩම් ඉල්ලා සිටි බවත්, එහිදී ජනාධිපතිවරයා වතු කම්කරුවන්ට ලබා දීමට ඉඩම් තිබෙන්නේ කොහේදැයි තම සංධානයෙන් විමසූ බවද පලනි දිගම්බරම් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
ජාතික ජන බලවේගය බලයට ගෙන ඒමට රටේ බහුතර ජනතාවක් එක් වුවද, වත්මන් රජයේ පාලනය හමුවේ එම ජනතාව මේ වන විට රජයෙන් ඉවත් වී සිටින බවද ඔහු මෙහිදී අවධාරණය කළේය.














