ජ්‍යෙෂ්ඨ DIGගෙන් විශේෂ පැහැදිලි කිරීමක්ත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ කාවඩි නර්තන අංගය සම්බන්ධයෙන් මතුව ඇති මතභේදාත්මක තත්ත්වය සහ ඒ හා බැඳුණු පාතාල ගැටුම්කාරී පසුබිම පිළිබඳව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා විසින් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පුළුල් පැහැදිලි කිරීමක් සිදු කර තිබේ. මෙම ගැටලුකාරී තත්ත්වයට මුහුණ දීම සහ අවසන් තීරණයකට එළඹීම සඳහා අද (27) පස්වරුවේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇති අතර, ඊට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, මාතර දිසාපති චන්දන තිලකරත්න සහ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතය.මීට වසර 35 – 40 කට පමණ පෙර සිට දෙවිනුවර ඇසළ පෙරහැරට කාවඩි නර්තනය එකතු වී තිබුණද, පසුගිය වසර කිහිපය තුළ එහි බරපතළ විනය පිරිහීමක් දක්නට ලැබුණු බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දෙයි. විශේෂයෙන්ම සමහර නර්තන ශිල්පීන් අඩ නිරුවතින් හෝ රහස් ප්‍රදේශ පෙනෙන අයුරින් අශෝභන ලෙස හැසිරීම සහ බහුතරයක් දෙනා අධික ලෙස මත්පැන් පානය කර පෙරහැරට සම්බන්ධ වීම හේතුවෙන් දැඩි අසාධාරණ හා අශෝභන තත්ත්වයක් උද්ගත විය.මෙම විනය විරෝධී ක්‍රියා පාලනය කිරීම සඳහා පසුගිය වසරේ පෙරහැර අවසානයේ බස්නායක නිලමේවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සංගමයක් පිහිටුවා, එහි තීරණ මත විනය විරෝධී ලෙස හැසිරුණු කණ්ඩායම් කිහිපයක් ඉවත් කර සීමිත පිරිසකට පමණක් අවස්ථාව ලබා දීමට කටයුතු කර ඇත. කෙසේ වෙතත්, මෙම තීරණයත් සමඟ ඊට සම්බන්ධ පාතාල කණ්ඩායම් කිහිපයක් අතර මතභේද සහ සංවාද හටගැනීම නිසා පෙරහැරේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිසියේ දැඩි අවධානය යොමුව තිබේ. 1896 අංක 13 දරන වන්දනාගමන් ආඥා පනත අනුව පෙරහැරේ පරිපාලන බලතල පැවරී ඇත්තේ දිසාපතිවරයාට වන අතර, පොලිසිය විසින් සිදු කරනු ලබන්නේ අවශ්‍ය ආරක්ෂාව සැපයීම පමණක් බවද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.














