මත්පැන් නිෂ්පාදනයේදී සහ ගබඩා කිරීමේදී සිදු වන අපතේයන මධ්‍යසාර ප්‍රතිශතය 1.5% සිට 0.1% දක්වා අඩු කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව ගත් තීරණයට මෙරට මත්පැන් නිෂ්පාදකයන් සිය දැඩි විරෝධය පළ කර ඇත. සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙම නව නිවේදනය හේතුවෙන් දැනට ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 23ක අතිවිශාල බදු මුදලක් ගෙවනු ලබන ප්‍රමුඛ පෙළේ සමාගම්වලට නැවත වරක් බදු ගෙවීමට සිදුවන බවත්, මේ නිසා තවදුරටත් නිෂ්පාදන කටයුතු කරගෙන යාම අසීරු වී ඇති බවත් නිෂ්පාදකයෝ සුරාබදු දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දී තිබේ.
බෝතල් කිරීමේ යන්ත්‍ර වෙත ස්ප්‍රීතු යොමු කිරීමේදී සහ නවීන යන්ත්‍ර මඟින් බෝතල් කිරීමේ ක්‍රියාවලියේදී මධ්‍යසාර වාෂ්ප වීම් විශාල වශයෙන් සිදුවන බව මත්පැන් නිෂ්පාදකයින් සඳහන් කරන අතර, රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීම සඳහා සුරාබදු නිලධාරීන් භාරයට ගන්නා මත්පැන් බෝතල් තොගද ගණනය කෙරෙන්නේ මෙම අපතේයන ප්‍රතිශතය යටතේ වීම විශේෂත්වයකි. පරිපාක, පොල් හා තල් ස්ප්‍රීතු නිෂ්පාදන ඇසුරින් පමණක් ලබාගන්නා අපතේයාම් සැලකිල්ලට ගනිමින් පසුගිය ජූලි 24 වැනි දින අංක 991 දරණ සුරාබදු නිවේදනය මඟින් මෙම සංශෝධනය සිදු කර ඇති අතර, මීට පෙර පැවති අංක 151 දරණ නිවේදනයේ ප්‍රතිශතය මෙලෙස අඩුකිරීම අත්තනෝමතික ක්‍රියාවක් බව නිෂ්පාදකයෝ අවධාරණය කරති. එබැවින්, මෙම අපතේයාම් සිදුවන ආකාරය සහ ඊට බලපාන විද්‍යාත්මක සාධක පිළිබඳව නිවැරදි, ප්‍රායෝගික හා විද්‍යානුකූල පරීක්ෂණයක් සිදුකිරීම අත්‍යවශ්‍ය බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.














