මේ වන විට බස්නාහිර පළාත් සභාව මඟින් පරිපාලනය කරනු ලබන හොරණ දිස්ත්‍රික් මහ රෝහල මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පවරා ගැනීම සඳහා වන නිල ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබේ. ඇඳන් 544ක ධාරිතාවකින් සහ 739ක අනුමත කාර්ය මණ්ඩලයකින් සමන්විත මෙම රෝහල, හොරණ ප්‍රදේශය මෙන්ම කළුතර, කොළඹ සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට අයත් අවට ප්‍රදේශ රැස්වී මධ්‍යගතව පිහිටා ඇති අතර, එමඟින් ආසන්න වශයෙන් ලක්ෂ දහයක පමණ ජනගහනයකට අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සපයනු ලබයි.
දිස්ත්‍රික් මහ රෝහලක් ලෙස තෘතීයික සත්කාර සේවා (Tertiary Care Services) වඩාත් පුළුල්ව සහ විධිමත්ව සැපයීම පිණිස අවශ්‍ය පහසුකම් මෙන්ම මානව සම්පත ඉහළ නැංවීමේ අරමුණින්, මෙම රෝහල සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීම සුදුසු බවට හඳුනාගෙන තිබිණි. ඒ සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ එකඟතාව හිමි වී තිබූ අතර, පසුගිය ජුනි මස 30 වැනි දින මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියද ලැබී තිබිණි. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාගේ සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිරීක්ෂණ හා නිර්දේශයන්ට යටත්ව ක්‍රියාත්මක වන මෙම පියවර හරහා ප්‍රදේශයේ ජනතාවට ලැබෙන සෞඛ්‍ය සේවාවන්හි ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.














